කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රටවල්

කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රටවල්

ලොව කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රටවල් අතර තවදුරටත් බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, කොළොම්බියාව සහ රුසියාව පෙරමුණ ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම රටවල්වලින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් බහුතරය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතවූවන් වීම අවධානම් තත්ත්වයක් බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

ගෙවුණු සති කිහිපය තුළ වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමඟ සති කිහිපයකට වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් කොවිඩ් සීමාවන් දැඩි කර ඇති අතර මේ හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

මේ අතර බ්‍රසීලයේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ජනපති බොල්සනාරෝගේ පාලනය තවදුරටත් අපොහොසත්වීම හේතුවෙන් යළිත් එරට වැසියන් විරෝධතා දියත් කර ඇති බව වාර්තා වනවා.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් සඳහා යුරෝපා සංගමයේ සෑම රටකම අනුමැතිය ලබා ගැනීම පසුගියදා අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් තවදුරටත් සිය නොසතුට පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් පමණක් ඉන්දීය එන්නත් භාවිත කළ පුද්ගලයින් සඳහා තම රටවල් වෙත ඇතුළු වීමට අවසර ලබා දෙන බව දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එන්නත්කරණය සාර්ථකව දියත් කිරීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ් සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ජනතාව සුපුරුදුපරිදි සිය දෛනික රාජකාරිවල නිරතවන ආකාරය වාර්තා වුවත් ඩෙල්ටා ප්‍රභේදයේ අවධානම් තත්ත්වය සැළකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අංශ යළිත් අවධාරණය කර තිබෙනවා.

Share This