

ටොන් 100ක් පමණ පරිසරයට බැහැර කළත් ‘යෝගට් කෝප්ප’ තහනම් කළ නොහැකි හේතුව
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96- 100ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් පසු පරිසරයට බැහැර කරන බව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය වී තිබෙනවා.
භාවිතයෙන් පසු බැහැර කරන හිස් යෝගට් කෝප්පවලින් ප්‍රතිචක්‍රියකරණය සඳහා නැවත එකතුකරනු ලබන්නේ සියයට 07ක් පමණක් බවද . ඉතිරි සියයට 93ම පරිසරයට බැහැර කරන අතර ඇතැම් පිරිස් ඒවා ගිනිතබා විනාශ කරන බවද එහිදී හෙළිවූ බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ.
එමෙන්ම යෝගට් කෝප්ප හා ඒ සමාන ප්ලාස්ටික් කෝප්ප මාසිකව මිලියන 45ක් පමණ පරිසරයට එක්කෙරෙන බව ද එහිදී සඳහන්ව තිබෙනවා.
යෝගට් නිෂ්පාදනයේ දී ඒ සඳහා ප්ලාස්ටික් කෝප්ප භාවිතා කිරීම තහනම් කළ නොහැක්කේ ඊට විකල්පයක් මෙතෙක් හඳුනා ගෙන නොමැතිවීම නිසා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දී තිබුණා.