ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය රටවල් 11කින් හමුවෙයි

ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය රටවල් 11කින් හමුවෙයි

ඉන්දියාවෙන් හඳුනා ගැනුණු ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 11 ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර, එහි වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්, එංගලන්තයෙන් සහ අමෙරිකාවෙන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

කෙසේවෙතත්, මාරාන්තික ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන් දරුණු තත්ත්වයක් ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදයෙන් තවමත් වාර්තා නොවීම විශේෂත්වයක් බව, සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

එහෙත් ඉදිරියේදී මෙම නව ප්‍රභේදයේ හැසිරීම කුමන ආකාරයක් ගනීදැයි නිශ්චිතව අනාවරණය කළ නොහැකි බැවින්, මෙම ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳවත් වඩාත් සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි ඔවුන් අවධාරණය කෙරෙන්නේ.

මේ අතර, ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පුරා සතියක කාලයක් වසා දමා තිඛෙන සිඩ්නි නගරයේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ කොවිඩ් පරීක‍ෂණ වහාම වේගවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඒ අවට වෙරළ තීරයන් වසා දැමීමට ද තීරණය කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, ගෙවුණු මාස කිහිපය තුළ ඉතා සාර්ථකව රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කළ ඊශ්‍රායලයෙන් ද මේ වනවිට නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් සමඟ කොවිඩ් සීමා කෙරෙහි එරට සෞඛ්‍ය අංශ අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින ඉන්දුනීසියාවේ ද බොහෝ රෝහල් මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරීයාමත් සමඟ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වාර්තා වනවා.

Share This