දරුවාට ජීවිතය දී අවසන් හුස්ම හෙලූ ‘ කොවිඩ් වැළඳුණු අම්මාගේ ‘ දුක්බර කතාව

දරුවාට ජීවිතය දී අවසන් හුස්ම හෙලූ ‘ කොවිඩ් වැළඳුණු අම්මාගේ ‘ දුක්බර කතාව

කොවිඩ් ආසාදිතව සිටි ගැබිනි මවක් සිසේරියන් සැත්කමකින් කළ දරු ප්‍රසූතියෙන් පසු ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මියගිය තැනැත්තිය තම තෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටියදී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බැව් පී.සී.ආර්. පරීක්‍ෂණවලදී තහුරුවී ඇති අතර හෝමාගම රෝහලේදී කළ සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකර තිබුණා.

මව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් පසුව හෝමාගම රෝහලින් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්‍ෂණය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දී කරනු ලැබූ අතර එහිදී මියගිය මවගේ සැමියා සාක්‍ෂි දෙමින් මෙසේ සඳහන් කර තිබුණා.

“බිරිය කරාපිටිය රෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකය වෙත ඉකුත් 08 වැනිදා ඇතුළත් කළා. බිරිය සුව අතට හැරෙමින් සිටියා. මා සමඟ කතාබහත් කළා. මම බිරිය බැලීමටත් ගියා. දිනකට පමණ පසු ඇයට උණ ගත්තා. රෝහලින් පරීක්‍ෂණ වගයක් කරලා කීවා වකුගඩුවලට විෂබීජයක් ගිහින් විෂබීජය ලේවලටත් ඇතුළු වෙලා කියලා.

බිරිය මගේ දුරකථනයට මැසේජ් එකක් දමලා තිබුණා එයාට දැන් ගොඩක් අමාරුයි ලේ මාරුකරනවා කියලා. ඔයගොල්ලන් දෙවියන්ට යාඥා කරන්න කියලත් සඳහන් කර තිබුණා. 21 වැනි රාත්‍රි 7.00ට විතර බිරිය බලන්න කරාපිටිය රෝහලට ගියා. මා ඇවිත් ඉන්නවා බිරිය දැක්කා. ඇය මට අත වැනුවා. බිරියට අමාරු බව ‍දොස්තර මහත්වරු මට කීවා. මා ගෙදර ගියේ නැහැ. රෝහලේම හිටියා. රෝහලින් අලුයම 2.53ට විතර දුරකථන ඇමතුමක් ඇවිත් තිබුණා. මා එය දැක්කේ නැහැ. රෝහලට කෝල් කරලා ඇසුවා. එවිට පැවැසුවා ලෙඩාට අමාරුයි එන්න කියලා.  ගිය විට දැන ගත්තා බිරිය මියගිය බව.”

Share This