නීති විරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් හසුවෙයි

නීති විරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් හසුවෙයි

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් අගෝස්තු 07 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රීලංකා වෙරළ ආරක්‍ෂක සුරක්‍ෂා නෞකාව හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම යාත්‍රාවේ තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ උර 143ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 5372ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද අතර, මෙම ඉන්දීය ඩව් යාත්‍රාව මඟින් රැගෙන එන ලද වියලි කහ මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම්කරුවන් සැළසුම් කර තිබෙන්නට ඇති බවට සක පල කරනවා.

වියලි කහ විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ තබා ඇති අතර, පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ඉන්දීය ජාතිකයින් පස් දෙනා (05) සමඟ එම ඩව් යාත්‍රාව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීමට කටයුතු කල බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

 

 

Share This