පොහොර තහනම ලිහිල් වූ හැටි

පොහොර තහනම ලිහිල් වූ හැටි

එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා යූරියා ඇතුළු  පොහොර වර්ග කීපයක් පමණක් ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති බවට සඳහන් පුවත සම්බන්ධයෙන් අද (04) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අවදානය යොමු කළා.

යූරිය ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමිවනු ඇති බවයි පුවත්පත් වාර්තා උපුටා දක්වමින් එහිදී සඳහන් කළේ.

මීට ඉහත රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා නව ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.

 

Share This