රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී රාජ්‍ය නිලධාරීන්ගෙන් පිළිතුරු

රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී රාජ්‍ය නිලධාරීන්ගෙන් පිළිතුරු

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙනවා.

“රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළා.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ, දශක ගණනාවක් රසායනික පොහොර භාවිතයට හුරුව සිටි රටක් කාබනික පොහොර භාවිතයට යොමු කිරීම අභියෝගාත්මක කරුණක් බැවින් එහිදී විවිධ මතවාද ඉදිරිපත්වීම සාධාරණ බවයි.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක පමණක් ආනයනයට කටයුතු කරන අතර, පස ජෛව විද්‍යාත්මකව පරිපූර්ණ කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ප්‍රකාශ කළා.

කාබනික පොහොර භාවිතය බොහෝ ගොවීන්ට නව අත්දැකීමක් බැවින් මෙම කටයුතු සතිපතා නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් සකසා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික සහ නව ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල, කෘෂි පීඨ සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් සහ සහාය මේ සඳහා ලබා ගැනීම සිදු කෙරෙන අතර සියලු මාධ්‍ය ආයතනවල සහාය ද අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආනයන සීමා පනවා තිබුණද ජාතික අවශ්‍යතාව මත යම් තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන අතර ප්‍රතිපත්තිමය කරුණුවලින් බාහිරව ඒ කිසිවක් සිදු නොකෙරෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අවධාරණය කළා.

ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනයට ගෙන ඇති තීරණය පිළිබද අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් ආයතනවල දැඩි අධීක්ෂණය සහ නිර්දේශ යටතේ එම කටයුතු සිදු කෙරෙන බවයි.

පාංශු පරීක්ෂණයකින් අනතුරුව ගොවීන්ට ලබාදෙන ඛේතාංක මත පදනම්ව ඒ ඒ ප්‍රදේශවල අවශ්‍ය ප්‍රමාණයෙන් කාබනික පොහොර ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන පාංශු පරීක්ෂණ ඉදිරි සතියේ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළා.

Share This