විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹෙයි

විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹෙයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කර තිබෙනවා.

ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රමිකයන්ට බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්ව යන රටවල් රැසක්ම පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළකර තිබෙනවා.

අද දින එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර, අද සිට දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

විදේශ රැකියා සඳහා රැකියා බලපත්‍ර ලැබූ සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත ලබා ගත හැකියි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැකියි.

විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

Share This