සුවස් ඇලේ තදබදය ලංකාවට බලපායි ද? (Video)

සුවස් ඇලේ තදබදය ලංකාවට බලපායි ද? (Video)

සූවස් ඇළ මාර්ගය හරහා යාත්‍රා කරමින් තිබියදී අනතුරකට ලක්ව ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත විය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් අදාළ ඇළ මාර්ගය හරහා යාත්‍රා කිරීමට සූදානමින් සිටි නෞකා රැසක් ඇළ මාර්ගයට පිවිසෙන මාර්ගයන්හි සිරවීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළ තුළ ඉදිරියේදී යම් අර්බුදකාදී තත්ත්වයක් උද්ගත විය හැකි බවයි වාර්තා වන්නේ.

ගෝලීය වෙළෙඳාම් කටයුතු සඳහා යොදා ගැණෙන ලොව අතිශය කාර්යබහුල නෞකා ගමන් මාර්ගයක් ලෙස සැලකෙන සූවස් ඇල මාර්ගයේ කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබූ විශාල නෞකාවක් අනතුරට ලක් වූයේ පසුගිය අඟහරුවාදායි. එදින සූවස් ඇළ මාර්ගය හරහා මෙම නෞකාව යාත්‍රා කරමින් තිබියදී දූවිලි කුණාටුවකට මුහුණ දීමට සිදුවීමත් සමඟ නෞකාවේ පාලනය ගිලිහී ගොස් එය ඇළ මාර්ගයේ එක් ඉවුරක ගැටී සිරවී ඇති බවයි නෞකා බලධාරීන් දැනුම්දී ඇත්තේ.

චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය වෙත භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව ඇමෙරිකාවේ එම්පයර් ගොඩනැගිල්ලේ උසට බොහෝ සෙයින් සමාන වන අතර නෞකාව දිගින් මීටර් 400ක් සහ පළලින් මීටර් 59ක් වන බවයි පැවැසෙන්නේ. අනතුර සිදු වන විට මෙම නෞකාව තුළ ටොන් දෙලක‍ෂයක පමණ භාණ්ඩ රැගත් කන්ටේනර් 20,000ක් පමණ තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බලධාරීන් පවසන පරිදි මෙම නෞකාව යළිත් ඇළ මාර්ගයේ යාත්‍රා කළ හැකි පරිදි හැරවීම සඳහා ඇළ ඉවුරේ ඇති වැලි කියුබික් අඩි ලක‍ෂ 7ක පමණ ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුව ඇත්තේ එම ඉවුරු ප්‍රදේශය ආශ්‍රිතව මීටර් 16ක පමණ ගැඹුරක් ලබා ගැනීම සඳහායි. එමෙන්ම මෙම නෞකාව මුදා ගැනීම සඳහා ටග් යාත්‍රාවලද සහය ලබා ගනිමින් දැඩි උත්සාහයක් ගනිමින් තිබුණද ඒ සඳහාද තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම නෞකාව සූවස් ඇළ මාර්ගය සම්පූර්ණයෙන්ම හරස් කරමින් මෙලෙස අනතුරට ලක්වීමත් සමඟ ඇළ මාර්ගය හරහා තම ගමනාන්ත වෙත ළඟාවීමට නොහැකිව ඇළ මාර්ගයට පිවිසෙන මාර්ගයන්හි නෞකා 200 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සිරවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම නෞකා අතර ඉන්ධන, නිෂ්පාදන අමුද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, දැව ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම නිමි ඇඳුම්ද රැගත් කන්ටේනර් රැසක් දක්නට ලැඛෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස සූවස් ඇළ මාර්ගයේ නෞකා සිරවීමත් සමඟ මේ වන විට දෛනිකව මෙම ඇළ මාර්ගය හරහා සිදු කෙරෙන

ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ හුවමාරුවක් ඇණ හිට ඇති බව ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ලෝක වෙළෙඳාම තුළ ගෝලීය අවශ්‍යතාවයෙන් 12%ක පමණ වෙළෙඳාම් කටයුතු මෙම ඇළ මාර්ගය හරහා සිදු කෙරෙන අතර මෙම තත්ත්වයත් සමඟ ආසියාව සහ යුරෝපය අතර වෙළෙඳාම් කටයුතු සඳහා දැඩි බාධා එල්ල විය හැකි බවයි පැවැසෙන්නේ.

මේ අතර මෙම නෞකා අනතුරත් සමඟ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලටද විශේෂ බලපෑමක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ අවධානමකට මුහුණ දිය හැකි බවටයි විදෙස් මාධ්‍ය අනතුරු අඟවා ඇත්තේ.

Share This