

කොවිඩ්වලට දේශීය ඖෂධ ‘හොඳයි කී අයට’ ෆේස්බුක් සමාගමෙන් තහනමක්
Facebook සමාගම පවත්නා ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සාවද්‍ය මත ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා පනවා ඇති ප්‍රතිපත්ති මාලාවට අනුව කොවිඩ් 19 සුව කළ හැකි බව පවසමින් දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ ගේ ෆේස්බුක් පිටුව අවහිර කර තිබෙනවා.
ඒ අනුව දින 30ක් ගතවන තෙක් ජනපති නිකොලාස් මදුරෝ ගේ Facebook ගිණුමට මෙම අවහිර කිරීම බලපානවා.
කොවිඩ් 19 සම්බන්ධයෙන් නොයෙක් දෑ සමාජ ගත කිරීම හේතුවෙන් Facebook තහනමට ලක්වූ බොහෝ දෙනා අතර රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක්ම සිටිනවා.
ඒ අතර එවකට ලෝක බලවතා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ද සිටිනවා.
කෙසේ වෙතත් වෙනිසුවෙලාවේ ජනපති මෙම තහනමට ලක්වන්නේ කොරෝනාවට එරෙහිව දේශීය ඖෂධයක් පවතින බවට තම ගිණුම ඔස්සේ සිදු කළ ප්‍රචාරයකට එරෙහිවයි.
“thyme” නමැති පළෑටියක සාරය යොදා ගනිමින් තනා ඇති එම ඖෂධය මගින් කොවිඩ් 19 සුව කළ හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් ජනවාරියේදී වන නමුත් එම ඖෂධයෙන් කොවිඩ් 19 සුව වන බවට මේ දක්වා තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තහනම් කිරීමට හේතුව Facebook සමාගම පැහැදිලි කරයි
“කොවිඩ් 19 සම්බන්ධයෙන්, මිනිසුන් අවදානමකට ලක්විය හැකි සහ හානිකර විය හැකි සාවද්‍ය තොරතුරු පළකිරීමට එරෙහිව ඇති අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් පළකර තිබූ වීඩියෝවක් ජනාධිපති මදුරෝ ගේ පිටුවෙන් අප ඉවත් කළා.” යනුවෙන් ෆේස්බුක් සමාම් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙන බව වාර්තා වනවා.
වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ ගේ ෆේස්බුක් පිටුව නීතිරීති පුනපුනා උල්ලංඝනය කර ඇති හෙයින් එම පිටුවේ කිසිවක් පළකිරීම දින 30කට අත්හිටුවීමට ද පියවර ගත්තා. එතෙක් එම පිටුව භාවිත කළ හැක්කේ කියවීම සඳහා පමණක් (read-only) යනුවෙන් එහිදී වැඩි දුරටත් සඳහන් වනවා.
ඇමරිකානු හිටපු ජනපති ගේ සහ බ්‍රසීලයේ ජනපතිගේ Facebook ගිණුම්වලට සිදු වූ වාරණ ..
කොවිඩ් 19 යනු සාමාන්‍ය සෙම්ප්රතිශ්යාවටත් වඩා “අඩු මාරාන්තික” මට්ටමක පවතින රෝගයක් බව සඳහන් කර තිබූ පෝස්ටුවක් ඉකුත් ඔක්තෝම්බර් මස දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කළ අතර කොවිඩ් 19 සඳහා “ළමුන් තුළ ප්‍රතිශක්තිය පවතින” බවට මත දක්වමින් පළ කර තිබු විඩීයෝ පටයක්ද ඉවත් කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබුණා.
එමෙන්ම බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු වීඩියෝවක් ද පසුගිය වසරේදී ඉවත් කර ඇති අතර එම වීඩියෝවෙන් කියැවුණේ හයිඩ්රෝක්සික්ලෝරෝකුයින් නමැති ඖෂධය මගින් කොවිඩ් 19 සම්පුර්ණයෙන්ම සුව කළහැකි බවයි.


FILE PHOTO: Brazilian President Jair Bolsonaro