ඉන්දියාව පුරා ඇසෙන විලාපය (VIDEO)

ඉන්දියාව පුරා ඇසෙන විලාපය (VIDEO)

ලොව පුරා සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 15 ඉක්මවා තිබෙනවා.

ඒ සමස්ත ආසාදිත මරණ 31 ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්.

මේ අතර, කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස බැට කන ඉන්දියාවෙන් ගතවූ දිනයේදීත් වැඩිම ආසාදිතයින් සහ මරණ වාර්තා වුණා.

දේශසීමා, ජාති ආගම්, වයස් භේදයන් නොතකන කොවිඩ් මාරයාගෙන් බැටකන ඉන්දියාව තුළ මේ වනවිට පවතින තත්ත්වය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතිනවා.

ගත වූ දිනයේදීත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ වැඩිම කොවිඩ් මරණ වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවෙන්.

රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල්වලත් රෝගී ධාරිතාව උපරිමයට ළඟා වී ඇත්තේ හුස්ම අයැදිමින් රෝහල්වෙත ළඟාවෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟයි.

සෑම විනාඩියකදීම රෝහල් වෙත පැමිණෙන කොරෝනා වෛරසය සමඟ සටන් කරන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් සෑම රෝහලකම පාහේ රෝහල් කාර්ය මණ්ඩලය අඛණ්ඩ අරගලයක නිරත වනවා.

අත්‍යවශ්‍ය ඖෂධ මෙන්ම ඔක්සිජන් සැපයුම් හිඟය හමුවේ ප්‍රතිකාර ලබාගැනීමට බලාපොරොත්තු සහගතව පැය ගණනාවක් රැඳී සිටීමට රෝගීන්ට සිදුව තිබෙනවා.

කොවිඩ් මාරයා සමඟ සටන්වැද දිවි අහිමිවූවන්ගේ සමීපතමයන්ගේ විලාපයන් ඉන්දියාවේ නෑසෙන නගරයක් නැති තරම්.

ඉන්දියාව පුරා සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළයාමත් සමඟ ආදාහනාගාරවල ඇතිව තිබෙන්නේ දැඩි තදබදයක්.

මේ තත්ත්වයත් සමඟ හිස් ඉඩම්වල, විථිවල පවා කොවිඩ් මෘතදේහ ආදාහනය කෙරෙන අයුරු දැකගත හැකියි.

ඇතැම් ස්ථානවල මෘතදේහ ආදාහනය කිරීමේ කටයුතු සඳහා සේවකයින් නොමැතිවීම නිසා තම හිතවතුන් වෙනුවෙන් සියලු අවසන් කටයුතු සිදුකරන්නට ඥාතීන්ට සිදුව තිබෙනවා.

ආදාහනාගාර අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට ඥාතින්ට සිදුව ඇත්තේ තම ඥාතියා වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්නට පවා නොහැකි තත්ත්වයක් උද්ගත කරමින්.

 

වීඩියෝව මෙතැනින් :  https://fb.watch/5a8FE_OuUE/

 

Share This