

අදත් ඇවිලුණු ගාසා තීරය
ඊශ්‍රායල ආරක්‍ෂක අංශ සහ පලස්තීනයේ හමාස් සටහන්කාමීන් අතර ගාසා තීරයේ ගැටුම් 8 වැනි දිනටත් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ගැටුම්වලින් මේ වන විට 212 දෙනෙකු මියගොස් 1500 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මියගොස් ඇති පිරිස අතරින් 61 දෙනෙකු කුඩා දරුවන් වන අතර 36 දෙනෙකු කාන්තාවන් වීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව යුද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මේ අතර පවතින තත්ත්වය පාලනයට සටන් විරාමයක අවශ්‍යතාව දැඩිව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය මෙන්ම ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පෙරමුණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය චෝදනා කරන්නේ පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීමේදී සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම පමණක් ඇමෙරිකානු බලධාරීන් අවධාරණය කර ඇති බවයි.
මේ අතර ඊයේ රාත්‍රි කාලයේත් ඊශ්‍රායල ආරක්‍ෂක අංශ විසින් ගාසා තීරයේ භූගත උමං මාර්ගවල පිහිටි හමාස් සටන්කාමීන්ගේ නිවාස 14ක් ඉලක්ක කර ගනිම්න් ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පිහිටි සිවිල් වැසියන් ජීවත් වන ස්ථානවලට සහ රෝහල් කිහිපයකටද හානි සිදුව ඇති බවයි.
එමෙන්ම ඊශ්‍රායල රොකට් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පිහිටි පලස්තීන රජයේ කාර්යාල සහ එම ප්‍රදේශ ආශ්‍රිතව විදුලි සම්ප්‍රේෂණ කටයුතුවලටද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා.
මේ අතර ගාසා තීරයේ රොකට් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම අවස්ථාවේ රූ ගත කළ දර්ශන අන්තර්ජාලයට මෙලෙස එක් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ අතර ගාසා තීරයේ ගැටුම් පිළිබඳව සිය අවධානය යොමු කරමින් සිටින බව දන්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ ගැටුම්වලට විරෝධය පළ කරමින් ලොව පුරා රටවල් රැසක ජනතාව දැවැන්ත විරෝධතා පෙළපාලි සංවිධානය කර ඇති ආකාරයද විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.