සංචරණ සීමා නීති රකින්නේ ‘දෑස් නොපෙනෙන සහ ආබාධ ඇති අය’ පමණයි

සංචරණ සීමා නීති රකින්නේ ‘දෑස් නොපෙනෙන සහ ආබාධ ඇති අය’ පමණයි

කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් රජය විසින් පනවා ඇති සංචරණ නීති දෑස් නොපෙනෙන සහ ගමන් කිරීමට නොහැකි ආබාධ සහිත පුද්ගලයන් හැරෙන්නට අනෙකුත් සියලූ දෙනා විසින් උල්ලංඝනය කරමින් සිටින බව බදුල්ල දිස්ති‍්‍රක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඞී. එම්. ඒ. ආර්. දිසානායක මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අද (10) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

සංචරණ නීති පනවා ඇති මේ අවස්ථාවේදී ගමන් කළ නොහැකි නිසා අන්ධ සහ ආබාධිත අයවලූන් පමණක් නිවෙස්වල රැඳී සිටින අතර අනෙකුත් අය දිනපතා ව්‍යාජ අවශ්‍යතා පෙන්වමින් විවිධ ස්ථානවල සැරිසරණ බව මෙහිදී පෙන්වා දෙන ඞී.එම්.ඒ.ආර්. දිසානායක මහතා ඇතැම් අය බොරු අසනීප තත්ත්වයන් පෙන්වමින් නිවෙස්වලින් බැහැර වන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමේ මුවාවෙන් සමහර පුද්ගලයන් අනවශ්‍ය භාණ්ඩ පවා අලෙවි කරමින් ගම්මානවල සැරිසරණ බව පවසා සිටිනවා.

අත්‍යවශ්‍ය සේවා බලපත‍්‍ර ලබාගැනීමට යයි පවසමින් ජනතාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල අසල පොදි කමින් සිටීම ද බරපතළ ප‍්‍රශ්නයක් බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කරන බදුල්ල දිස්ති‍්‍රක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමයේ සභාපති ඞී. එම්.ඒ.ආර්. දිසානායක මහතා විනයක් සහ පාලනයක් ඇතිව කටයුතු නොකර ජනතාව මෙලෙස වගකීම් විරහිතව දිගින් දිගටම කටයුතු කළහොත් මුළුමහත් රටම ඉමහත් ව්‍යසනකාරී තත්ත්වයකට ඇදවැටීම අනිවාර්ය බවට ද අනතුරු අඟවා සිටිනවා.

Share This