

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි – මිහිදන් කර තිබූ කොවිඩ් මෘතදේහ ගංඟා ජලයේ පා වෙයි
ගෙවුණු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර, ඉදිරි සති කිහිපය තුළ යුරෝපයේ බොහෝ රටවල ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පෙන්නුම් කළ හැකි බවට යළිත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඊයේ දිනයේදීත් බ්‍රසීලයෙන් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 63,000 රෝගීන් පිරිසක් වාර්තා කරමින්.
එමෙන්ම ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඊයේ බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 2,000 ට ආසන්න වී ඇති බවයි පැවසෙන්නේ.
බ්‍රසීලයෙන් පසු ලොව වැඩි කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 43,000 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
මේ අතර, ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් ගංඟා නදියෙහි ඉවුර දෙපස මිහිදන් කර තිබූ කොවිඩ් මෘතදේහ තවදුරටත් ගංඟා ජලයේ පාවෙමින් තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉන්දියාවෙන් පසු බ්‍රිතාන්‍ය , කොලොම්බියාව, රුසියාව, ඉන්දුනීසියාව යන රටවල වැඩි ආසාදිත ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙන අතර, අමෙරිකාවෙන් ද හඳුනා ගැනෙන නව ආසාදිතයින්ගෙන් වැඩි ප්‍රතිශතය ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් වීම වඩාත් කැපී පෙනෙන්නක් බව එරට මාධ්‍ය පවසනවා.
එමෙන්ම, රට තුළ ජනගහනයෙන් බහුතරයකට සාර්ථකව එන්නත් ලබාදීමත් සමඟ කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ ඊශ්‍රායලයෙන් ද නව දෛනික ආසාදිතයින් වාර්තාවීම ගෙවුණු සති කිහිපය තුළ සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර, රට තුළ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ව්‍යාප්තිය යම් පාලනයකට ලක් කිරීමත් සමඟ තායිලන්තයේ සංචාරක ආකර්ෂණය ඉහළින් දිනාගත් ප්‍රදේශයක් වන ෆුකට් දිවයින සංචාරකයින් වෙත විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මිනිසුන්ගෙන් සුරතල් සතුන්ට කොවිඩ් ආසාදනය වීමේ හැකියාවක් ඇති බව, ඇතැම් පර්යේෂණවලින් යළිත් වතාවක් අනාවරණය වී ඇති බව, විදෙස් මාධ්‍ය පවසනවා.