ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය ගැන ‘නිදහස් පක්ෂයේ තීරණය’ ප්‍රකාශ කෙරේ

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය ගැන ‘නිදහස් පක්ෂයේ තීරණය’ ප්‍රකාශ කෙරේ

උදය ගම්මන්පිළ ඇමැතිවරයාගේ ගැටළුවේදී විපක්ෂයට වාසි වන ආකාරයේ කිසිදු තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නොගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමක දී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර නැහැ. නමුත් එකක් කියන්න කැමැතියි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් කිසිදු අවස්ථාවක ගම්මන්පිළ ඇමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ දී විපක්ෂයට වාසිදායක වන ආකාරයේ කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ.

ඛනිජතෙල් මිල වැඩි කිරීම සම්බන්ධව ගත් තීරණය එතුමාගේ තනි තීරණයක් නොවෙයි. ඒක අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක්. එම අවස්ථාවට ගරු අගමැතිතුමා මෙන්ම ජනාධිපතිතුමාත් සහභාගි වුනා. ඒ නිසා ගම්මන්පිළ ඇමැතිතුමාට තනියෙන් ඒ වගකීම බාරදිය යුතු නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලු දෙනා එම යෝජනාව එම ගන්නා අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සිටියා. එහෙමනම් එහිදී එම තීරණය සම්බන්ධව සමස්ත අමාත්‍ය මණ්ඩලයම වගකීම බාර ගත යුතුයි.

ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපේ ස්ථාවරය තමයි මෙම විශ්වාසභංගයේ දී ගම්මන්පිළි අමාත්‍යතුමාට විශ්වාසය පළ කිරීම. ඒ සඳහා අපි කටයුතු කරනවා “

Share This