කොවිඩ් බෝ වුණේ කැළයෙන් අල්ලාගෙන ඇති කළ සතෙක් ගෙන් ?

කොවිඩ් බෝ වුණේ කැළයෙන් අල්ලාගෙන ඇති කළ සතෙක් ගෙන් ?

මේ වන විට ලොවම වෙලා ගත් වසංගත තත්ත්වය වන කොවිඩ් -19 වෛරසය මනුෂ්‍යයින් ට ආසාදනයවීම සිදුව ඇත්තේ සතුන් හරහා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කළ පර්යේෂණයක නව වර්තාවක පැවසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මනුෂ්‍යයින් අතර එය මාසයකට වඩා වැඩි කාලයක් පැතිරෙමින් පවතින්නට ඇති බවත් එම වාර්තාවේ සඳහන් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ කණ්ඩායම පවසන්නේ “වෛරසය විද්‍යාගාරයක් ඔස්සේ පැතිරුණා” යන මතය පිළිගැනීම අපහසු බවයි.

ඒ අනුව කොරෝනා වෛරසයේ මූලාශ්‍රය සතෙක් වියහැකි බවත් කැළයෙන් අල්ලාගෙන සත්ත්ව ගොවිපොළක ඇතිකළ සතෙක් හරහා එම වෛරසය මිනිසුන් අතරට ගොස් තිබෙන බවට උපකල්පනය කර තිබෙනවා.

වවුලෙක් මගින් බෝ වුණාද?

වවුලෙක් මගින් මෙම වෛරසය හැදෙන්නට ඇති බවත් වවුලාගෙන් සෘජුවම මිනිසාට ආසාදනය වූවාද නැතිනම් එය වෙනත් සතෙකුට ආසාදනය වී මිනිසාට වක්‍රව ආසාදනය වූවාද යන්න
එම වාර්තාවේ සඳහන් වී නැහැ.
කොරෝනා වෛරසයේ ආරම්භය වවුල් විශේෂයක් වියහැකි ය යන්න මෙතෙක් පිළිගත් මතය වන අතර SARS-CoV-2 වෛරසය “කබල්ලෑවා” තුළ ද හමුවී තිබෙනවා.ඒ අනුව කබල්ලෑවා ගේ මාංශ ශීතකරණයක තිබීම හරහා එම වෛරසය පැතිරී ඇත්දැයි යන්න තවත් මතයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම සොයාගැනීම් මඟින් වෛරසය මුලින්ම ඇති වූ ආකාරය පිළිබඳ නව අවබෝධයක් ලබා දෙන නමුත් බොහෝ ගැටලුවලට ඉන් පිළිතුරු ලබා දී නැහැ.නමුත් පර්යේෂකයන්ගේ නිගමනවලට හේතු වූ කරුණු පිළිබඳව වාර්තාව වැඩි විස්තර සපයා තිබෙනවා.

වුහාන් විද්‍යාගාරයකින් වෛරසය පැතිර ගිය බවට වන මතය බැහැරට…

කෙසේ වෙතත් වෛරසය මුලින්ම හඳුනාගත් චීන නගරය වන වුහාන් හි විද්‍යාගාරයකින් වෛරසය පැතිර ගිය බවට වූ සැකය මෙම වාර්තාවෙන් බැහැර කර තිබෙනවා.

එහි පෙන්වා දෙන්නේ එවැනි රසායනාගාර අනතුරු ඉතා දුර්ලභ බවත්, වුහාන්හි විද්‍යාගාර හොඳින් කළමනාකරණය කර ඇති බවත්, 2019 දෙසැම්බර් මාසයට පෙර කිසිදු රසායනාගාරයක කොරෝනා වෛරසයට සමීපව වූ වෛරස් පිළිබඳ පර්යේෂණ සිදු නොකර ඇති බවයි.

වූහාන් සත්ත්ව වෙළඳපලින් කොවිඩ් ඇති වුණාද ?

මෙම වසංගත රෝගය පැතිරීම පිළිබඳ උපලක්පනය කළ මුල්ම හේතුව වූ , වුහාන් මුහුදු ආහාර වෙළඳපොලකින් 2019 දෙසැම්බර් මාසයේදී මෙය ආරම්භ වූයේද යන්න පිළිබඳව තවමත් පවතින්නේ මෙම වාර්තාවට අනුව අවිනිශ්චිත තත්ත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම අනාගත වසංගත වළක්වා ගැනීමට උපකාරී වන බැවින් මෙම වාර්තාව නිකුත් වනතුරු බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටියි.

පහතින් දැක්වෙන්නේ වූහාන් සත්ත්ව වෙළඳපලක දර්ශනයි

 

Share This