

ෆේස්බුක් ගිණුම ගැන තීන්දුවට දින එකයි – ට්‍රම්ප්ගෙන් අලුත් වෙබ් අඩවියක්
(BBC ඇසුරිනි )
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව “සන්නිවේදන” වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබෙනවා.
මෙය නම්කර ඇත්තේ “straight from the desk” යනුවෙනුයි.
පසුගිය ජනවාරි මාසයේ දී වොෂිංටන් නුවර, ‘කැපිටල්’ නමින් හැඳින්වෙන කොංග්‍රස් ගොඩනැගිල්ල අසල ඇතිවූ කැරළි කෝලාහලවලින් අනතුරුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ට, ට්විටර් සමාජ ජාලය තහනම් වුණා.
ඔහුගේ ෆේස්බුක් සහ යූටියුබ් ගිණුම් අවහිර කෙරුණා.
එවක් පටන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමාජ ගත කරනු ලැබුවේ මාධ්‍ය නිවේදන වශයෙනි. මින්පසු ඒවා සන්නිවේදනය කරනු ඇත්තේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අලුත් වෙබ් අඩවිය හරහායි.
මෙහි පළවන පෝස්ටුවලට ‘Like’ දැමීමේ හැකියාව මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ට ලැබෙන අතර ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම පෝස්ටු හුවමාරු කර ගැනීමේ හැකියාව ද පරිශීලකයන්ට පවතිනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම වෙබ් අඩවිය දියත් කරනු ලැබුවේ තාවකාලිකව අවහිර කර ඇති සිය ෆේස්බුක් ගිණුම සදහටම වසා දමන්නේදැයි තීරණය කිරීමට දිනක් තිබියදීයි.
මෙම තීරණය ගනු ලැබීමට ඇත්තේ ෆේස්බුක් සමාගමේ පාලන මණ්ඩලයක් විසිනි.
ට්‍රම්ප් ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජේසන් මිලර් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නවතම සමාජ මාධ්‍ය ජාලයක් දියත් කිරීමට කටයුතු කරන බවය. “මෙම අලුත් සමාජමාධ්‍ය වේදිකාව විශාල එකක්” යැයි ඔහු පැවසුවේ මාර්තු මාසයේදීයි.
නමුත් අඟහරුවාදා (මැයි 04) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජේසන් මිලර් කියා සිටියේ අලුතින් ආරම්භ කෙරෙන වෙබ් අඩවිය, තමන් මීට පෙර සඳහන් කර තිබූ අලුත් සමාජ මාධ්‍ය වේදිකාව නොවන බවයි.
‘Campaign Nucleus’ නමැති ඩිජිටල් සේවා සමාගම විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබ ඇති බවට වාර්තා වනවා. එම සමාගමේ නිර්මාතෘ, ට්‍රම්ප් ගේ හිටපු ප්‍රචාරක කළමනාකරු බ්‍රැඩ් පාස්කේල් ය.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම නැවතත් සක්‍රිය කිරීම සඳහා අවසර ලබා දීමට ෆේස්බුක් පාලන මණ්ඩලය තීරණය කළහොත් එය නැවත සක්‍රිය වීමට දින හතක් ගතවනු ඇති.
YouTube සමාගම ප්‍රකාශ කර තිබුණේ “සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වය” ඇතිවීමේ තර්ජනය පහව ගිය පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ YouTube ගිණුම යළි සක්‍රිය කරනු ඇති බවයි.
නමුත් ට්විටර් ජාලය භාවිත කිරීම ට්‍රම්ප්ට සදහටම තහනම් වුණා. ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සතුව නිත්‍ය පරිශීලනය කරන්නන් (followers) මිලියන 88ක් සිටියා.
ට්‍රම්ගේ අලුත් වෙබ් අඩවිය පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් සමාගමේ ප්‍රකාශක බීබීසියට කියා සිටියේ “සාමාන්‍යයෙන්, වෙබ් අඩවියක පළ වූ යමක් ට්විටර් ජාලය ඔස්සේ හුවමාරු කර ගත හැකි නමුත් එහි අන්තර්ගතය මගින් ට්විටර් නීති උල්ලංඝනය නොවිය යුතු” බවයි.
(උතුරු ඇමරිකානු කලාපයේ බීබීසී වාර්තාකරු ජේම්ස් ක්ලේටන් ගේ ලිපියක් ඇසුරෙනි.)