

ලංකාවේ පළාත් සභා ඡන්දයට ඉන්දියාවෙන් වන බලපෑම
මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මහතා ප්‍රකාශ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් කියා සිටින්නේ මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ලංකා රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහය දක්වන බවයි.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලුම පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන පරිදි ඉන්දීය විදේශ ඇමතිවරයාගේ අදහස වන්නේ , ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද ඉන්දියාවේ මෙම ස්ථාවරය ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් ඉන්දියාව එහිදී ප්‍රබල ප්‍රකාශනයක් සිදුකර තිබෙනවා.
එය, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්, සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන්නක් බවයි අමාත්‍ය එස්. ජායිශංකර් ගේ අදහස වන්නේ.
එමෙන්ම, දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්, ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී අන්දමින් කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් අවධාරණය කර තිබෙනවා.