පැතුම් නිස්සංකගෙන් සුපිරි ශතකයක්

පැතුම් නිස්සංකගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිස්සංක සිය කුළුදුල් ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණා.

විශේෂත්වය වන්නේ මෙය ඔහුගේ පළමු ටෙස්ට් තරඟය වීමයි. ඒ අනුව පළමු ටෙස්ට් තරඟයේදී ශතකයක් වාර්තා කළ සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වන්නටත් පැතුම් නිස්සංක සමත්වුණා.

අවසන් වරට මේ දස්කම මීට පෙර වාර්තා වී ඇත්තේ මීට වසර විස්සකට පෙරයි. ඒ 2001 වසරේදී සිය කුළුදුල් ටෙස්ට් තරඟයේදී ශතකයක් රැස් කරමින් තිලාන් සමරවීර මෙම දස්කම සිදුකර තිබුණා.

ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේදී ශතකය වාර්තා කිරීම සඳහා පැතුම් පන්දු 270 කට මුහුණ දුන්නා.

එමෙන්ම පැතුම් නිශ්ශංක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල අතර පස්වන කඩුල්ල සඳහා ලකුණු 179 ක සබඳතාවක්ද ගොඩනැගුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 149 යි පන්දු 5 කදී ලකුණු 476 ක් රැස් කළා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 375ක ඉලක්කයක් ඉතිරි කරමින්.

තරගයේ සිව්වන දිනය නිමා වන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර තිබුණා.

ඒ අනුව ඔවුන්ට තරඟයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 341 ලබා ගත යුතුව තිබෙනවා.

Share This