ලෝක බලවතා ඓතිහාසික තීරණයකට සැරසේ

ලෝක බලවතා ඓතිහාසික තීරණයකට සැරසේ

අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් ලබාදීම පහසු කළ හැකි වන පරිදි බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට සහය ලබාදෙන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත්, දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගම් මෙම බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට මේ දක්වා එකගතාව පළ කර නැහැ.

කොවැක්ස් පහසුකම් යටතේ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ඉන්දියාවේ සීරම් ආයතනය මගින් අඩු ආදායම්ලාභී රටවල් රැසක් වෙත බෙදා හැරීම් සිදුකළ අතර, මේ වන විට ඉන්දියාවේ පවතින දරුණු වසංගත තත්ත්වයත් සමඟ එම ක්‍රියාවලිය ඇණහිට තිබෙනවා.

ඉන්දියාව තුළ ද එන්නත් හිඟයක් පවතින අතර ෆයිසර් එන්නත එරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් දැනටමත් අවදානය යොමුව තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නැත්තේ පේටන්ට් හිමිකාරීත්වය පිළිබද ගැටළුවක් මුල් කර ගනිමින්.

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයා මෙම පේටන්ට් හෙවත් බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට සහය පළ කිරීමත් සමඟ අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිගේ මෙම තීරණය ඓතිහාසික තීන්දුවක් බවයි.

 

Share This