විදේශිය ප්‍රේක්ෂකයින්ට තහනම් වන ඔලිම්පික් උළෙල

විදේශිය ප්‍රේක්ෂකයින්ට තහනම් වන ඔලිම්පික් උළෙල

ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ට සහභාගී වීම තහනම් කර ඇතැයි කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජපානයේ කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය මේ වසරට කල් දමා තිබුනා.

ඒ අනූව, ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 23 වැනිදා සිට අගොස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එසේම, පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ, අගොස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වායි.

අමෙරිකාව සහ යුරෝපයේ ඇතැම් රටවලට සාපේක්ෂව ජපානයේ කොරෝනා ආසාදිතයන් අඩු වුවද, වෛරස ව්‍යාප්තියේ තෙවැනි රැල්ලකින් ද බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම අත්හිටුවීමට සංවිධායක මඩුල්ල තීරණය කර තිබෙනවා.

උළෙල ආරම්භයේදී සාම්ප්‍රදායික ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ අවස්ථාවට ද විදේශීය ප්‍රේක්ෂකයන් ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වුවද, මාධ්‍යවේදීන්ට උළෙල ආවරණය සඳහා සාමාන්‍ය පරිදි අවසර හිමිවන බවද සදහන්.

Share This