

කොවිඩ් එන්නත නොගත් පිරිස ගැන හොයන්න ජනපති දුන් උපදෙස
දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මෙලෙස උපදෙස් ලබා දුන් බවයි පැවසෙන්නේ.
කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී ඇති බවත් එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.
මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනපති දන්වා තිබෙනවා.
රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ද ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.