සතුටින් සිටින කාන්තාවන් දැක උරණ වූ අයෙක් කළ හදියක්

සතුටින් සිටින කාන්තාවන් දැක උරණ වූ අයෙක් කළ හදියක්

ජපානයේ ටෝකියෝහි දුම්රියක් තුළ සිටි පුද්ගලයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊයේ රාත්‍රි සිදුව ඇති මෙම පිහි ඇණුම් ප්‍රහාරයෙන් එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බරපතල තුවාල ලබා ඇති අතර සෙසු පිරිස සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි අයකු වන අතර ඔහු පොලීසිය වෙත පවසා ඇත්තේ සතුටින් සිටින කාන්තාවන් දුටු විට තමාට කෝපයක් ඇති වන බවත් දුම්රිය තුළද එවැනි කෝපයක් ඇතිවූ බැවින් සතුටින් සිටි කාන්තාවන් දැකීමත් සමඟ ඔවුන් මරා දැමීමට තමන් උත්සාහ කළ බවයි.

සිද්ධිය වන අවස්ථාවේ අදාළ දුම්රිය ධාවනය වෙමින් තිබූ අතර දුම්රිය මැදිරි තුළින් මගීන් නොසන්සුන් තත්ත්වයකින් පසු වන බවට ශබ්ද ඇසීමත් සමඟ වහාම දුම්රිය නැවැත්වීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

අනතුරුව වහාම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර අනතුර සිදු කළ පුද්ගලයා ටෝකියෝහි වෙනත් ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කළා.

Share This