සුවසැරිය ගිලන් රථ සේවය අරඹා වසර පහයි

සුවසැරිය ගිලන් රථ සේවය අරඹා වසර පහයි

හදිසි අනතුරක් හෝ හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුණාට පස්සෙ රෝගීන් සහ තුවාලකරුවන් රෝහල් ගතකරන්න මීට වසර පහකට කලින් ක්‍රියාත්මක වුණේ මෙන්න මේ විදිහේ ප්‍රවාහන සේවා විතරයි.

ඒ නිසා බොහෝ විට ජීවිත රැසක් අවදානමට ලක්වුණා.

මේ තත්ත්වයට පිළියම් යෙදීමේ හැකියාව මෙරට 1990 ට සුවසැරිය ගිලන් රථ සේවය මෙරට ස්ථාපිත කිරීමත් සමඟ උදා වුණා.

එය මෙරටට ලැබුණේ ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසයි.

1990 දීප ව්‍යාප්ත හදිසි ඇමතුම් අංකයට ලබාදෙන ඇමතුමකින් මෙම ගිලන්රථ සේවාව ලබාගන්න පුළුවන්.

මූලික අදියර යටතේ මෙය දකුණු සහ බස්නාහිර පළාත්වල පමණක් ක්‍රියාත්මක වුණත් සුවසැරිය ගිලන් රථ සේවයට පස් වසරක් සමරන අද දිනයේ එය දිවයින පුරාම ක්‍රියාත්මකයි.

සම්පූර්ණයෙන්ම නොමිලේ සේවාව සපයන 1990 සුවසැරිය ගිලන් රථ සේවය නිවසෙදි අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගියෙකු මිනිත්තු 12කටත් අඩු කාලයකදී රෝහලක් වෙත ගෙන යාමට කැප වී සිටිනවා.

ශ්‍රී ලංකාව පුරා නාගරික සහ ග්‍රාමීය ජනතාව වෙත විශාල සේවාවක් ඉටු කිරීමට හැකියාව ලැබී ඇති සුවසැරිය ගිලන් රථ සේවාවට මේ වන විට දිනකට ලැබෙන ඇමතුම් ප්‍රමාණය පන්දහසකට අධික වන අතර, රෝගීන් රෝහල් ගත කිරීම් දිනකට දහස ඉක්මවනු ලබනවා.

කාර්ය මණ්ඩලය 1394ක් වූ සුවසැරිය සතු ගිලන් රථ සංඛ්‍යාව 297ක්.

එහි ධාරිතාවය ඉහළ නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානයද මේ වන විට යොමුව තිබෙන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව නව ගිලන් රථ 112ක් සුවසැරියට එක් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.

කොවිඩ් 19 මැඩලීමේ සටනේදී සුවසැරියේ කාර්යභාර්ය සුවිශේෂි කරුණක් වූ අතර, කොවිඩ් දෙවන රැල්ලේ සිට මේ දක්වා රෝගීන් 70,000 කට ආසන්න පුද්ගල සංඛ්‍යාවක් රෝහල් කරා ගෙන යාමට දායකත්වය ලබාදී තිබෙනවා.

මේ අතර, සුවසැරිය ගිලන් රථ සේවයේ පස්වැනි වසර සමරන අද දිනය එම ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබුණා.

1990 ගිලන් රථ සේවයේ ධාරිතාව ඉහළ නැංවීමට නව ගිලන් රථ එයට එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් ද හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් පණිවුඩයෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මියද සුවසැරිය ගිලන් රථ සේවාවේ පස්වැනි සංවත්සරය නිමිත්තෙන් සුබ පැතුම් එක්කර තිබෙන අතර, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද පස්වැනි වසර සමරන සුවසැරිය ගිලන් රථ සේවාවට සිය සුබපැතුම් එක් කර තිබුණා

Share This